Friday 24th of April 2026

English Tamil
Advertiesment


විපක්ෂ නායක පුටුව අපලද..?


2019-01-12 14872

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

ඇත්තටම නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වුයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙහි අමිර්තලිංගම් ය. 1977 මහා මැතිවරණයෙන් වැඩිම ආසන දිනාගත්තේ අමිර්තලින්ගම්ගේ පක්ෂයය.

මේ නිසා ශ්‍රීලනිපට විපක්ෂ නායක ධුරය අහිමි විය. එත් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ජනාධිපති කොමිසම්වලට එරෙහිව මැතිනියගේ ප්‍රජා අයිතිය අයිතිය අහෝසි කරන යෝජනාවට එරෙහිව හඬ නැගුවේ අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණය.

ජේ.ආර්. ටත් එය මවිතය ගෙන දෙන්නක් විය. 1983 කළු ජූලියට පසු රට බෙදීමට එරෙහිව ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් ඉවත් විය. ශ්‍රීලනිපයට විපක්ෂ නායක ධුරයට හිමිකම් කීමට හැකි වුයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ගත් ඒ තීන්දුව නිසාය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් ඉවත් වුයේ ශ්‍රීලනිපයට විපක්ෂ නායක ධුරය ද  පුජා කරලාය.

ඉන් හරියටම වසර 32කට පසු ශ්‍රීලනිපය දමිළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය පුජා කිරීම දෛවෝපගත සිද්ධියකි. 2015 මෛත්‍රී ජය ගත්  පසු ශ්‍රීලනිපය ආණ්ඩුවට එක් වී දමිළ ජාතික සන්ධාන නායක සම්බන්ධන්ට විපක්ෂ නායක ධුරය දෙන්න තීරණය කළේය. එය මෛත්‍රී ගත් ඓතිහාසික තීන්දුවකි.

එහෙව් මෛත්‍රී පසුගිය දා විපක්ෂ නායක ධුරය ශ්‍රීලනිපයට ගන්න තීන්දු කළේය. ඔහු ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් කරගෙන විපක්ෂ නායක ධුරය මහින්දට දෙන්න තීරණය කළේය. 1983 ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් ඉවත් වූ පසු ශ්‍රීලනිපය විපක්ෂ නායක ධුරයට හිමිකම් කියද්දී විපක්ෂ නායක කවුරු විය යුතු දැයි තීරණය කළේ  ජේ.ආර් ය. අනුර ජේ.ආර් හමු වී විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටියේය. අනුර විපක්ෂ නායක ලෙස පිළිගන්නා මෙන් කතානායක ඊ.එල්. සේනානායකගෙන් ඉල්ලා සිටියේ ජේ. ආර් ය. අනුර සිතුවේ විපක්ෂ නායක වූ විට ඔහුට ජනාධිපති ධුරය අත ළගයි  කියාය. එත් අනුරට ජනාධිපති වෙන්න බැරි විය.

කිසි දිනෙක පාර්ලිමේන්තු නොගිය චන්ද්‍රිකා ජනාධිපති විය. 1989 මහා මැතිවරණයට පසු බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායක විය යුතු යැයි  තීරණය කළේ  ශ්‍රීලනිපය ය. මැතිනියගේ ආශාව වුයේ විපක්ෂ නායක වී ඊළඟ ජනාධිපතිවරණයට තරග කොට ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටය. එත් මැතිනිය රෝද පුටුවට වැටිණි. ඇයට  ජනාධිපති වෙන්න බැරි විය. 1994 ශ්‍රීලනිපය දින්නාට පසු විපක්ෂ නායක වුයේ ගාමිණී දිසානායකය.

ගාමිණී 1994 ජනාධිපතිවරණයට තරඟ කළත් ජනාධිපති වෙන්න බැරි විය. ඉන්පසු විපක්ෂ නායක වුයේ රනිල්ය. රනිල් විපක්ෂ නායක ධුරයේ සිට ජනාධිපතිවරණ දෙකකට තරඟ  කළේය. දෙකම පරාජය විය.

ඉන්පසු රනිල්ට ජනාධිපතිවරණ ජය ගත නොහැකි යැයි  කියා පිටින් අපේක්ෂකයෝ ගේන්න  එජාපය තීරණය කළේය. 2002 රනිල් අගමැති වූ පසු විපක්ෂ නායක පුටුවට පත්වුයේ රත්නසිරිය. ඉන්පසු මහින්දය. විපක්ෂ නායක ධුරය දරා මේ රටේ ජනාධිපති වූ එකම දේශපාලනඥයා මහින්දය. හැබැයි ඔහු ජනාධිපති වුයේ අගමැති ධුරය දරමින්ය. 2004 මහා මැතිවරණයෙන් ඔහු අගමැති විය. 2002 මහින්ද විපක්ෂ නායක වුයේත්, එවකට අගමැති රනිල්ගේ මැදිහත්විමෙන්ය.

විපක්ෂ නායක ධුරයට ශ්‍රීලනිපයේ ගැටුමක් තිබිණි. මහින්දව විපක්ෂ නායක ලෙස පිළිගන්න යැයි  කතානායක ජෝෂප්  මයිකල්ට කිවේ රනිල්ය.

අමිර්තලිංගම් මේ නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වූ දින සිට උතුරේ සන්නද්ධ කල්ලි ඔහු අභිභවා මතු විය. අමිර්තලින්ගම්ලා ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දේශපාලනයේ අතරමං  විය. අනුර විපක්ෂ නායක වූ දින සිට අනුරට එරෙහිව චන්ද්‍රිකා සහ විජය මතුවිය.

1989 මැතිනි විපක්ෂ නායක වූ පසු මැතිනියට එරෙහිව යළි  අනුර මතු විය. අන්තිමේදී මැතිනියත් අනුරත් යටපත් කරගෙන චන්ද්‍රිකා මතු විය.

94 ගාමිණී විපක්ෂ නායක වූ දින සිට රනිල් ගාමිණීට  එරෙහිව මතු විය. රනිල් විපක්ෂ නායක වූ පසු ඔහුට එරෙහි පක්ෂයේ කැරලි කල්ලි නිමක් නැති විය. ඔහු යටපත් කරගෙන කරු සහ සජිත් මතු වුහ.

2002 මහින්ද විපක්ෂ නායක වූ විට ඔහුට එරෙහිව අනුර සහ ජවිපෙ, මංගල ටීම් එක මතුවිය. සම්බන්ධන් විපක්ෂ නායක වූ පසු දමිල ජාතික සන්ධානය ද දෙකඩ විය. විග්නේශ්වරම් වෙනම මතු විය.

"විපක්ෂ නායක වූ මහින්දවත් යට කරගෙන කවුරු හෝ මතු වෙයිද..?"

ඒකනම්  කියන්න දන්නේ නැත. ඒ වගේම විපක්ෂ නායක පුටුවේ අපලය තියෙන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේද.., 78 ව්‍යවස්ථාවේ ද කියලා කියන්න දන්නෙත් නැත.

 

  -ගුරුදා විග්‍රහය-

Advertiesment